දෙමාපියනි,
ඔබට, ඔබේ දරුවාට ආයුර්වේද ප්‍රථිකාර ක්‍රම,ආයුර්වේද ඖෂධ, රෝග, රෝගවලින් ආරක්ෂාවීම, සහ එදිනෙදා ජීවිතයේදී වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා ඖෂධ පැලෑටි ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්න .
මහියංගණ - දඹාන ආදිවාසී ගම්මානයට පිවිසෙන මාර්ගයට මුහුණලා පිහිටා ඇති මෙම ආයුර්වේද කෞතුකාගාරය නැරඹීමට දැන් අවස්ථාව උදාවී ඇත.
පැරැණි වෙදැදුරන් විසින් පාවිච්චි කරන ලද බෙහෙත් ගල්, කුරහන් ගල්,තෙල් භරණි,අරිෂ්ඨ භරණි,ඖෂධ බහාලුම් , ආයුර්වේදයේ කිරුම් මිනුම් උපකරණ,ගව අං, සත්ව අස්ථි, ඇත්දළ සහ සඳුන් ලීයෙන් සෑදූ ඉතා අලංකාරවත් බෙහෙත් මංජුසාවන්, විවිධ වූ බෙහෙත් සැරයටි වර්ග, සර්පවිෂ වෙදකමේදී කඩිනමින් ඖෂධ කොටාගැනීමට යොදාගත් දෙබිඩි වංගෙඩිය,ආරක්‍ෂිත කුප්පි ලාම්පු, බුද්ධදාස රජතුමා විසින් ශල්‍යකර්ම සඳහා භාවිතා කරනලද ශල්‍යායුධ ආකෘති , පුස්කොල පොත් හා ඒවා කියවීම සඳහා යොදාගත් විවිධ වූ විශාලකොට කියවීමේ උපකරණ, වෙදකම් සඳහා පිටත්ව යෑමට දිශාව බලාගැනීම සඳහා පාවිච්චි කරනලද ඉතා පැරණි මාලිමා උපකරණ,අලි හක්ක,කසායක් කිරාගන්නා අන්දම හා කිරුම් මිනුම් .....
පූර්වකර්ම හා පංචකර්ම යනු මොනවාද ?
එම ප්‍රතිකර්ම කිරීමෙන් සිරුරට ඇතිවන ප්‍රතිඵල මොනවාද?
( මෙකී පූර්වකර්ම හා පංච කර්ම ප්‍රථිකාර කරනා අන්දම සහ ඉරියව් දැක්වෙන ප්‍රතිමා වීදුරුකුටිවල තැන්පත් කොට ඇත.එක් එක් ප්‍රතිකාරය පිළිබඳව වෙන් වෙන් වශයෙන් විස්තර කොට ඇත.)
අරිෂ්ඨයක්, ආසවයක්, කල්කයක්, වටියක්, ඝෘතයක්, චුර්ණයක් යනු මොනවාද..?
ඒවා සාදාගන්නේ කෙසේද සහ කුමන රෝග සඳහා ගනු ලබන්නේද යන්න ...
ඖෂධ පැළ දහස් ගණනක සියළු විස්තර නිදර්ශකද සමග උද්භිද නාමය සහ එම පැලෑටිය අයත් වන කුලය සහ ඖෂධීය ගුණය සමග ඉතා පුළුල් ලෙස විස්තර කොට ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
රෝග, රෝගවලින් ආරක්ෂාවීම, එදිනෙදා ජීවිතයට අදාළ සෞඛ්‍ය අවවාද,ඖෂධ පැලෑටි සහ තවත් වැදගත්වන වාර්තා වැඩසටහන් රුපවාහිණී තිර තුනක සවිස්තරාත්මකව විකාශනය වනු ඇත.
මේ තුලින් ඖෂධ පැලෑටි පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීම තුලින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙකී පැළෑටි ආරක්ෂා කර ගැනීමට ඔබත් දායක වනු ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඉතා පුළුල් අවබෝධයක් මෙතුලින් ලැබෙනු ඇත.
මෙම සම්පුර්ණ ගෘහනිර්මාණය පරිසර හිතකාමී ලෙස මිනිස් දෑතින් ඉතා අලංකාර ලෙස නිර්මාණය කොට ඇති අතර කිසිදාක තීන්ත ආලේප කිරීමක් අවශ්‍ය නොවේ. අනුරාධපුර යුගයේ සඳකඩ පහනක් ප්‍රධාන දොරටුව අසලින් ආලෝකමත්කොට පොළොවට ගිල්වා ඇති අතර ඒ මත සවිකොට ඇති වීදුරුවක් මතින් කෞතුකාගාරයට ඇතුල් වීමේ ප්‍රධාන දොරටුව නිමවාඇත.මෙම ව්‍යාපෘතියෙහි වඩාත්ම විශේෂත්වය වන්නේ, ගෘහනිර්මාණය, කෞතුකාගාර සංකල්පය,ඇතුලත ඇති සියළුම විස්තර හා ආයෝජනය තනි පුද්ගලයෙකු සතු වීමයි.
(නිර්මාතෘවරයා පිළිබඳව මෙම පිටුවෙහි උඩ කෙළවරෙහි ඇති “අපගැන / About Us”පිටුවට පිවිසෙන්න.
ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි එකොළහක මුදලක් වැයකොට ඇති අතර 100% පෞද්ගලිකවම ආයෝජනය කොට 2018 ජුලි මස 20 වනදා ප්‍රදර්ශණය සඳහා විවෘත කරන ලදී. පුජ්‍ය පක්ෂය, වෛද්‍යවරුන්, විද්වතුන් හා ප්‍රභූවරුන්ගේ අදහස් දැනගැනීම සඳහා මෙම පිටුවෙහි ඉහල කෙළවරෙහි ඇති “Comments / Reviews” පිටුවට පිවිසෙන්න.
නිර්මාතෘවරයා විසින් මුලින්ම මෙම කෞතුකාගාරය වාද්දුව - මොල්ලිගොඩ ගාලු පාරට මුහුණලා “විතාස් මහල්” නමින් පර්චස් 12.5 කුඩා බිමක ඉදිකරන ලද ගොඩනැගිල්ලක 2015 වසරේදී ආරම්භ කල අතර එදා සිට මහියංගනයට මෙම කෞතුකාගාරය රැගෙන එන තුරු පාසැල් ළමුන්ද ඇතුළුව 5500 ක් දෙනා නරඹා ඇත. මේ තුලින් ඖෂධ පැළෑටි පිළිබඳව ලබාගත් දැනුම උපයෝගී කරගනිමින් මේ වනවිට පැළ 4000 කට අධික ප්‍රමාණයක් මෙම පුංච් රටේ නැරඹු පිරිස විසින් රෝපණය කොට ඇත.
මොහොතක් සිතන්න ...!!
මේ මගින් පරිසරයට මුදාහරින්නාවූ ඔක්සිජන් ප්‍රමාණය ...
අප සියලු දෙනාගේ ඉලක්කය වන්නේ වැඩි දියුණු කොට නිර්මාණය කරනලද නව ව්‍යාපෘතිය තුලින් ලබාගන්නා දැනුම තුලින් මියැදෙන්නට පෙර අඩු තරමින් පැළ ලක්ෂ දහයක්වත් සිටුවා අනාගත පරපුරට පිරිසිදුව හුස්ම ගැනීමට සලස්වා අවසන් හුස්ම හෙලීමටයි.
මේ සඳහා ඔබත් දායක වන්න.මෙතුලින් ලබාගන්නා දැනුමෙන් ඔබත් ඔබගේ ගෙවත්තේ හෝ පාසැල් වත්තේ පැළයක් සිටුවන්න.